Pages

Friday, April 22, 2011

හැන්ඩි මහත්තයාගේ ගමන බිමන


අපේ මහත්තයා වෙලාවකට හරිම ලෝභයි අනේ. හැබැයි අපරාදේ කියන්න බැහැ ඒ ලෝභ කම එයාට යමක් මිලදී ගන්න ගියහම තමයි.

“හපෝ නෝනේ, ඔය ගානට මේ කලිසම කොහොමත් වටින්නේ නැහැ, යන් යන් අර අනිත් රෝ එකට යං”

“හප්පා මේ ෂර්ට් එක අරං මං කොහේට අඳින්නද? අපේ ඔෆිස්  එකේ එවුන් බලයි මට හතර මහා නිධානේ පහළ වෙලාද කියලා”

“මේස්? මේ මේස්ද? මං හිතුවා මොකක් හරි වෙන වටිනා දෙයක් කියලා, ඇයි බොලේ ‍තව කීයක් හරි දැම්මා නං ඔයාට සාරියක් ගන්න පුළුවන්නේ”

ඔන්න ඔහොමයි එයාට ඇඳුම් ගන්න ගියහම මට ඉදිරිපත් කෙරෙන ප්‍රශ්න. මං දහ අතේ කල්පනා කලා මේකට මොකද කරන්නේ කියලා. පස්සේ ඔය දහ අතින් එක අතකින් මට හොඳයි කියලා හිතෙන විදිහේ අදහසක් ලැබුණා.

අපි දවසක් ගියා එයාට සපත්තු ජෝඩුවක් ගන්න.
ඇත්තටම මටත් ටිකක් බුදු අම්මෝ කියලා කියැවෙන්න කියැවෙන්න ආවා තමා ඉතිං. ඒත් මොකද මහත්තයා ලස්සනට ඉන්නත් එපැයි.

මට ඕනේ වුනේම දැක්ක ගමන් මගේ හිත ගිය සපත්තු ජෝඩුව ගන්න. ඒක රු.2599.99 යි. මං කිව්වානේ අපේ මහත්තා‍ගේ සොභාවේ.

“මේ නෝනේ.......... මං සැරයක් කිව්වා. මට නං නැහැ සල්ලි ඔය හැටි වියදං කරන්න”

“අනේ ඉතිං මේ අහන්නකෝ. මෙතැනින් පොඩ්ඩක් වාඩි වෙන්නකෝ. දෙන්න ඔය ෆෝන් එක. මං ගානක් හදලා පෙන්නන්නද?”

“මෙන්න.............. ඒ පාර මොකද?
“මෙහෙමයි මේ 2599.90 සපත්තු දෙක ඔයාට දාන්න පුළුවන් බය නැතුව මාස 6ක් නේද?

“හ්ම්”

“2599.99/(6x30) = 14.44යිනේ.
ඉතිං එක දවසකට රු.14.50යිනේ.

ඔයා ගන්න යන 899.90 සපත්තු දෙක දාන්න පුළුවන් මාස දෙකයි.

899.90/(6x30) = 14.99යි.
 දවසට රු.15යි.

ඉතිං මං කියන දෙක ගත්තහම ඔයාට වාසි දෙකයිනේ.
එකක් හැන්ඩියා වගේ ගමන බිමන.
අනික දවසට සත 50ක වාසියකුත් තියෙනවා. මොකද කියන්නේ?”

හප්පේ බලන්න එපැයි පහුවදා මගේ මහත්තයාගේ ලස්සන.

මේ අපේ කථාව පෙළ ගැස්සුවේ: අපේ නෝනා



Thursday, April 21, 2011

නෝනාගේ ප්‍රශ්නෙත් විසඳුනා. මගේ ප්‍රශ්නෙත් විසඳුනා. තෙල් බොස්ට ජය වේවා !!!

පහුගිය දවස් වල පැට්‍රොල් ෂෙඩ් එකට ගියහම නෝනාගෙන් හරිම බර බරේ.

150, 200 වගේ ගණන් වලට පැට්‍රොල් ගහන්න එපා කියලා. ලීටර් වලින් ගහන්න කියලා.

ඇයි වදේ රු.115ක් දීලා කොහොමද මගේ පරණ සීටී සීය ගොයියාට ලීටර් එකක් ගහපන් මල්ලි කියලා අපේ අම්මාව ඒ සහෝදරයාට සිහිකරවන්නේ.

කොහෙද නෝනා එක්ක බැහැ.

එයා කියන්නේ අර ඇමරිකාවෙද කොහෙද බැංකු සේවකයෙක්, පොළි මුදල් වල - උදාහරණයක් හැටියට ඩොලර් 10.5467875377575 - අවසාන දශමස්ථාන ටික එකතු කරන් කෝටි ‍පතියෙක් වුනා වගේ අපි ලීටර් වලින් තෙල් ගත්තේ නැත්තං මේ ෂෙඩ් ගොයියෝ තෙල් පතියෝ වෙයිලු.

ඒ කථාවෙත් ඇත්තක් නැත්තෙත් නැහැ ඉතිං. ඒත් ඉතිං ඉස්සෙල්ලා කිව්වා වගේ රු.115, රු. 230ක් වගේ ගාණක් දික් කරන්න මට නිකං මොකද්ද වගේ. කොහෙද මේ නෝනාලා අපේ අභිමානය සතේකට මායිම් කරන එකක් යෑ.

අනේ දෙවියෝ මගේ මූණ බැලුවේ මේ ප්‍රශ්නෙන් මං තැලී පෙලී පොඩිවී මිරිකී ඉන්න වෙලාවේ. දෙයියනේ කියලා ලීටරේ රු.125ක් කලානේ. මට දැන් සුද්දා වගේ රු.250 දීලා ලීටර් දෙකක්ම ගහගන්න පුළුවන්. නෝනාගේ ප්‍රශ්නෙත් විසඳුනා. මගේ ප්‍රශ්නෙත් විසඳුනා.

තෙල් මිල වැඩි කරපු උත්තමයන්ට පිං අයිති වේවා!!!


මේ අපේ කථාව පෙළ ගැස්සුවේ: අපේ මහත්තයා


බලාගෙන ගියහම රජගෙදර ඉපදෙන එකත් පිනක් නෙවෙන්නම්.....................

 නෝනා ඊයේ මට කියනවා මෙන්න මෙහෙම.

“විලියම් කුමාරයා මේ මාසේ බඳිනවානේ”

මං ඇහැව්වා මෙන්න මෙහෙම.

“ආ ඇත්තද?”

“ඔව් අනේ. දන්නවද එයාලාව ෆොටෝ ගන්නවාලු බර ගානක්. ෆොටෝ විතරක් මිලියන 327ක් කියලා කියනවා.”

මගේ ඇස් උඩ ගියාද කොහෙද, හුස්මත් නතර වුනා.

“ඈ? මිලියන 327ක්? ෆොටෝ මිලියන 327ක්?”

නෝනා කියනවා තවත් එව්වා.

“එයාලා මොන තරම් පිං කරලා ඇද්ද නේද?”

“පිං දත් කියලා අහනවා නෝනේ. කැමරාකාරයෝ ප්ලේන් ටිකට් අරං, අතින් වියදම් කරන් ඇවිත් ෆොටෝ ටික ගහලා දෙන එකම මදෑ”

නෝනාට බරටම හිනා. මටත් හිනා තමයි. මෙව්වාට කියන්නේ මොන හිනාද මන්දා. අපිත් රජගෙදරක ඉපදුනා නං............. කියලා හිතුනා මට ඒ වෙලාවේ. පිංතූරු ඇල්බම් එකට රු.60,000ක් වියදම් කරන එකත් ලේසී පාසු කජ්ජක් නොවුනු කොට.

මේ ගැන විස්තර මෙතැන තියෙනවා

මේ අපේ කථාව පෙළ ගැස්සුවේ: අපේ මහත්තයා